ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ (25) කොළඹ SSC පිටියේ දී ආරම්භ විය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට බංග්ලාදේශ නායකයා තීරණය කළ අතර පළමු දිනයට තරගය නිමා වන විට ඔවුන් කඩුළු 8 ක් දැවී ලකුණු 220 ක් ලබා සිටියේය. එහිදී බංග්ලාදේශ පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු සද්මන් ඉස්ලාම් ලකුණු 46 ක් ලබා ගත් අතර මුෂ්ෆිකර් රහීම් හා ලිටන් දාස් පිළිවෙලින් ලකුණු 35 ක් සහ 34 ක් බැගින් වාර්තා කරන ලදී. ෙ ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් තරගයේ පාලනය තමන් නතු කර ගැනීමට සමත්වීම විශේෂත්වයකි. එහිදී ආරම්භක වේග පන්දු යවන්නන් වූ අසිත ප්‍රනාන්දු සහ විශ්ව ප්‍රනාන්දු කඩුළු 2 බැගින් දවා ගැනීමට සමත් වූ අතර ටෙස්ට් වරම් ලබා ගත් තුන්ඉරියව් ක්‍රීඩක සොනාල් දිනූෂ ද කඩුළු 2ක් දවා ගැනීමට සමත්විය. මීට අමතරව දඟ පන්දු යවන්නන් ලෙසින් නායක ධනංජය ද සිල්වා හා තරිඳු රත්නායක එක් කඩුල්ල බැගින් ලබා ගැනීමට සමත්වූහ.