රාජ්‍ය සේවය ඵලදායී හා කාර්යක්ෂම සේවාවක් බවට පරිවර්තනය කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතා කළ හැකි ආකාරය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්  අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්විණි.

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ රජයේ ප්‍රමුඛ ව්‍යාපෘතියේ ආරම්භක ප්‍රවේශයක් ලෙස නිලධාරීන් දැනුවත් කිරීම සහ සූදානම් කිරීම සහ රාජ්‍ය සේවය තුළ කෘත්‍රිම බුද්ධිය කෙරෙහි ධනාත්මක ආකල්පයක් ඇති කිරීම මෙහි අරමුණයි.

මෙම අවස්ථාවට සහභාගී වූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා පැවසුවේ කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් කාලයට අනුකූලව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කළ හැකි බවයි.

ආරම්භක දේශනය පැවැත්වූ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්යභාරය, අධ්‍යාපන අමාත්‍යාංශය තුළ කෘත්‍රිම බුද්ධිය භාවිතා කළ හැකි ආකාරය සහ ඒ සඳහා සැලසුම් කර ඇති තාක්ෂණික වෙනස්කම් පිළිබඳව කතා කළේය.

මෙම වැඩමුළුව ජනාධිපති කාර්යාලය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) එක්ව සංවිධානය කරන ලදී. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන හර්ෂ පුරසිංහ සහ සමීෂා අබේසිංහ යන මහත්ම මහත්මීන් සම්පත්දායකයින් ලෙස එක්විය.