ලොව සමස්ත කාන්තා පරපුරට මෙන්ම ශ්‍රී ලංකාවටද අභිමානයක් අත්කර දෙමින් සිරිමාවෝ රත්වත්තේ බණ්ඩාරනායක මැතිනිය ලොව ප්‍රථම අගමැතිනිය ලෙස පත්වූයේ අද වැනි දවසකය.


1960 ජූලි 21 වනිදා ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය නොඹැඳි ජාතීන්ගේ සමුළුවේ සභාපතිනිය වශයෙන් ද කටයුතු කළා.

කාන්තාව පිළිබඳ ලෝක දේශපාලනයේ එතෙක් පැවති සම්ප්‍රදායික පදනම බිඳ දමා කාන්තාවන්ටද රාජ්‍ය නායකත්වය තුළ දස්කම් පාන්නට හැකි බව මුල්වරට ලොවට කියා දීමට එතුමිය සමත්වුණා.

සමාජවාදයට නැඹුරු ජාතිකවාදී දේශපාලන ප්‍රතිපත්තිය මත කටයුතු කළ මැතිනිය යටත්විජිතවාදී පාලනය විසින් හඳුන්වා දුන් යැපුම් ආර්ථිකය වෙනුවට දේශීය නිෂ්පාදනය පදනම් කරගත් ජාතික ආර්ථිකයක් සඳහා පදනම දැමීමට කටයුතු කළා.

බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස පැවැති ශ්‍රී ලංකාවට ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව හඳුන්වා දෙමින් ස්වාධීන රාජ්‍යයක් බවට පත්කිරීමේ ප්‍රමුඛතම කාර්ය සඳහා නායකත්වය ලබා දුන්නේ ද සිරිමාවෝ රත්වත්තේ බණ්ඩාරනායක මැතිනියයි.