o පාසලෙන් ඉවත්වන සියලු දරුවන්ට NVQ සහතිකයක්.
o පාසල් අධ්‍යපනයෙන් පසු රැකියාවක නිරත වීමට හෝ
උපාධිය හැදෑරීමට අවස්ථාව
o සා පෙළ විෂයයන් සංඛ්‍යාව 07ක් දක්වා අඩුවෙයි.
o ඩිජිටල්කරණය මගින් සියලු දරුවන්ට අධ්‍යාපනය
ලැබීමට අවස්ථාව සැලසීම.
o 6 වසර සිට 11 වසර දක්වා ඉතිහාසය, සෞන්දර්යය සහ
වෘත්තීය අධ්‍යාපනය හැදෑරීම අනිවාර්යයි.
o සමස්ත පාසල් අධ්‍යාපනයේ ප්‍රගතිය සොයන්න වෙනම
ඒකකයක්
o එක් එක් දරුවා ගැන විශේෂ අවධානය යොමු කරන්න ක්‍රමවේදයක්
2026 සිට
ආරම්භ කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව මේ වන විට සමාජය තුළ දැඩි
අවධානයට යොමු වී කතිකාවක් නිර්මාණය වෙමින්
තිබේ.
ප්‍රතිසංස්කරණ
ලංකාවේ අපට නම් අලුත් දෙයක් නොවේ. මහින්දාගමනයේ සිටම සෑම ක්ෂේත්‍රයකම අඩුවැඩි වශයෙන් විවිධ ප්‍රතිසංස්කරණ
සිදුවී තිබේ. ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ද විවිධාකාර වූ ප්‍රතිසංස්කරණයන් වරින්වර
සිදුව ඇති බව, පෘතුගීසි, ලන්දේසි මෙන්ම ඉංග්‍රීසි යටත් විජිත පාලන කාලය අධ්‍යයනය
කිරීමේදී පැහැදිළි වේ. එකි සියලු ප්‍රතිසංස්කරණයන් සිදු කර ඇත්තේ මෙරට ජනතාවගේ හෝ රටේ සංවර්ධනයට නොව ආගම ප්‍රචාරය
කේන්ද්‍ර කරගෙන බව බැලූ බැල්මටම පෙනෙන කාරණයකි.
ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සිදු වූ වැදගත් ම
ප්‍රතිසංස්කරණය වන්නේ සී. ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සිදු
කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයයි. එතුළින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දැවැන්ත පිබිදීමක් ඇති
වූ අතර නිදහස් අධ්‍යාපනය තුළින් මෙරට සුවහසක් දරුදැරියන්ට අධ්‍යාපන අවස්ථා
නිර්මාණය වීම එහි විශිෂ්ට ම ප්‍රතිපලය විය.
අනතුරුව
මෙරට පාලන බලය ගෙන ගිය විවිධ රජයන් යටතේ පත් වූ අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරුන්
අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් සිදු කිරීමට විවිධ උත්සාහයන් සිදු කළේය. එකී ප්‍රතිසංස්කරණයන් යම් යම් මට්ටමින් මෙරට අධ්‍යාපනය
සාධනීය මට්ටමකට ගෙන ඒමට දායක වූවා සේම ඇතැම් අවස්ථාවල සමාජයෙන් එල්ල වූ බලපෑම් හමුවේ
හකුලා ගැනීමට සිදු වූ අවස්ථා ද නැතුවාම
නොවේ.
මෙතෙක් සිදු
වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හුදෙක් ඉලක්ක ගත වුයේ පාසල් විෂය මාලාව වෙනස් කිරීම
වෙනුවෙන් ය. ඊට සාපේක්ෂව අධ්‍යාපන ක්ෂේත්‍රයේ අනෙකුත් අංශ කෙරෙහි නොසැලකිලිමත් වීම
හෝ අවධානයක් යොමු නොවීම මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල නිසි ප්‍රගතිය ලබන්නට
නොහැකි වීමට මූළිකම හේතුවක් ලෙස සදහන් කළ යුතුය.
නව රජය බලයට පත්වීමෙන් පසු අමාත්‍යංශ ලෙස වෙන වෙනම පැවති අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය
එකම අමාත්‍යංශයක් ලෙස නම් කර එහි වගකීම වර්තමාන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි
අමරසූරිය වෙත ලබා දෙන ලදී.
2026 සිට ක්‍රියාත්මක කිරීමට මේ වන විට සැලසුම් සකස් කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය
මගින් සමාජයට වැඩදායී මෙන්ම රටේ ආර්ථිකයට දායක වන ගුණ ගරුක දරුවෙකු පාසලෙන් බිහි
කිරීම ඉලක්ක කර ප්‍රායෝගිකව සිදු කළ හැකි ප්‍රතිසංස්කරණයක් බව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය
පිළිබඳ අදහස් දක්වන අධ්‍යාපන විද්වතුන් ද පිළිගනිමින් තිබේ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හුදු විෂය මාලා සංශෝධනයක් සිදු කරනවා වෙනුවට
සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයේම පරිවර්තනයක් ඉලක්ක කර සිදු වන්නකි. ප්‍රධාන කාරණා පහක්
තුළ සමස්ත අධ්‍යාපන පද්ධතියම ආවරණය වන පරිදි නව ප්‍රතිසංස්කරණය කේන්ද්‍රගත කර,
පාසලෙන් ඉවත්වන සියලු දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් සහ අනාගතය පිළිබද නිශ්චිත
අරමුණක් නිර්මාණය කරදීමත් පාසල් අධ්‍යාපනයෙන් පසු වැඩලෝකයට අවතීර්ණ වීමට මෙන්ම උසස් අධ්‍යාපනයට
යොමු වීමටත් හැකි වන පරිදි සිදු කර තිබේ.
ඒ අනුව සමස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය,
·
නූතන සමාජයට සහ වැඩ ලෝකයට
ගැළපෙන පරිදි විෂය මාලා සංශෝධනය
·
මානව සම්පත නව විෂය
මාලාවට සහ තාක්ෂණික ලෝකයට ගැළපෙන පරිදි සංවර්ධනය කිරීම
·
නව විෂය මාලාව පාසල් තුළ
ක්‍රියාත්මක කළ හැකි පරිදි සියලු දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක්, වඩා යහපත් සහ ආකර්ෂණීය පසල් පද්ධතියක් ලබා දීම
සදහා වන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ ඊට සමගාමීව කාර්යක්ෂම හා ඵලදායී සේවාවක්
වෙනුවෙන් අධ්‍යාපන පරිපාලන අංශය ප්‍රතිසංස්කරණය කිරීම.
·
දරුවන්ටත් දෙමාපියන්ටත්
මානසික පීඩාවක්ව පවතින විභාග ඉලක්ක කරගත් ක්‍රමවේදය වෙනුවට නවීන අධ්‍යාපන
උපායමාර්ග අනුව එක් එක් දරුවන් වෙත වෙන වෙන ම අවධානය යොමුකරන ඇගයීම් සහ තක්සේරුකරණ
ක්‍රියාවලියක් සිදු කිරීම
·
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය
සහ එතුළින් දරුවන්ට ලබා දෙන ගුණාත්මක
අධ්‍යාපනය පිළිබඳ
දෙමාපියන් ඇතුළු සියලු අංශ තුළ කතිකාවක් නිර්මාණය කිරිම සහ ප්‍රචාරණයන් සිදු
කිරීම
යන කුළුණු පහ (05) මත සිදු කෙරේ.
මෙතෙක් අඩු අවධානයක් යොමු ව පැවති පූර්ව ළමාවිය සංවර්ධනය සඳහා විශේෂ අවධානයක්
යොමු කර ජීවිත කාලය පුරා ඉගෙනීමට අවශ්‍ය පදනම පූර්ව ළමා වියේදී නිර්මාණය කිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ඇතුළත් කර තිබේ.
පාසල් අධ්‍යාපනය ප්‍රධාන වශයෙන් අංශ හතරක් ඔස්සේ ක්‍රියාත්මක වන අතර පළමු
අංශය වන ප්‍රාථමික අංශයේ දී එක වසර සිට පහ
වසර දක්වා දරුවන්ගේ අධ්‍යාපනය සංවර්ධනය සඳහා අවශ්‍ය මුලික ජීවන කුසලතා සංවර්ධනය
කිරීම සිදු කෙරේ. නව ප්‍රතිසංස්කරණය හරහා ගුණාත්මක අධ්‍යාපනය රටේ සියලු දරුවන්ට
හිමි වීමෙන් තරගකාරී ශිෂ්‍යත්ව විභාගය පාසල් අධ්‍යාපනයෙන් ඉවත්වී යම අනවරතයෙන්
සිදු වේ.
පළමු සහ දෙවන වසර, තෙවන සහ සිව්වන වසර, පහ වසර ලෙස අදියර තුනක් යටතේ අධ්‍යාපන
කටයුතු සැලසුම් කර ඇත. එහිදී මව් භාෂාව නිවැරදිව භාවිතය, ඉංග්‍රීසි සහ දෙවන භාෂාව
ප්‍රායෝගිකව පුහුණු කිරීම, ගණිතමය හැකියාව වර්ධනය කිරීම, ආගම සහ සමාජ වටිනාකම්
අවබෝධ කරදීම සහ ඒ සඳහා හුරු කිරීම, නවීන විද්‍යාව පිළිබඳ ප්‍රාථමික අවබෝධය ලබාදීම,
සෞන්දර්ය අධ්‍යාපනය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය මෙන්ම විෂය සමගාමී ක්‍රියාකාරකම්
සහ දරුවාට මානසිකව නිදහස් අධ්‍යාපන පරිසරයක් නිර්මාණය කර දීමට සැලසුම් කර තිබේ.
දෙවන අංශය වන්නේ කණිෂ්ට ද්විතීයික අංශයයි. හය වසර සිට නවය වසර දක්වා කාලය තුළ
දරුවාගේ අනාගත ජීවිතය ඉලක්ක කර ගනිමින් දරුවන් ඒ සඳහා හුරුකරවීම සිදු කෙරේ.
මූලික විෂය නිර්දේශය ඉගෙනීමට මෙහිදී දරුවාට අවස්ථාව හිමි වන අතර ව්‍යවසායකත්වය
සහ මූල්‍ය සාක්ෂරතාව පිලිබඳ මූලික අවබෝධයක් දරුවන් වෙත ලබාදීම වෙනුවෙන් විෂයක්ද
ඇතුළත් වී තිබේ. ක්‍රිඩා, සමාජ සහ සංගම්වල
සහභාගීත්වය සහ ඇගයීම් පාදක ක්‍රමවේදයක් ලෙස එකී විෂයන් හැදෑරීමට අවස්ථාව උදාවේ. එහිදී
මූළික විෂයන් සඳහා ක්‍රෙඩිට් 30ක් හිමි කර ගත යුතු අතර අමතරව තෝරා ගතයුතු විෂයන්
තුළින් ක්‍රෙඩිට් 03ක් සහ වෘත්තීය ජීවිතය සඳහා වැදගත් වන විෂයන් අතරින් ක්‍රෙඩිට්
දෙකක් ලෙස ක්‍රෙඩිට් 35ක් දරුවෙකු හිමි කරගත යුතුය. 9 වසරේ දී නිපුණතා පාදක විශේෂ
ඇගයීම සිදු කෙරෙන අතර එමගින් දරුවන්ගේ කුසලතා මට්ටම් අවබෝධ කර ගැනීමටත්,
දරුවන් සතු අනාගත වෘත්තීය නිපුණතාව හදුනා
ගැනීමටත් අවස්ථාව ලැබේ.
නිපුණතා පාදක ඇගයීම සහ දරුවන්ගේ
රුචිකත්වය මත 10 වසර සහ 11 වසර විෂයන්
තෝරා ගැනීම සිදු කිරීමට දරුවන්ට අවස්ථාව ලබා දී ඇති අතර අනිවාර්ය විෂයන් සහ
තෝරාගත් විෂයන් සමඟ හැදෑරිය යුතු සම්පූර්ණ විෂයන් ගණන 07 කි. නිපුණතා පාදක ඇගයීම මත ප්‍රධාන ක්ෂේත්‍ර හතරක්
යටතේ අවම වශයෙන් විෂය ධාරා තුනක් ආවරණය වන පරිදි විෂයන් තෝරා ගැනීමට හැකිය. එකී
විෂය ධාරාවන් වන්නේ,
01. STEM
විෂය ධාරාව
02.මානව ශාස්ත්‍ර
සහ සමාජීය විද්‍යා විෂය ධාරාව
03.කළමනාකරණය සහ ව්‍යවසායකත්ව
විෂය ධාරාව
04.වෘත්තීය
නිපුණතා විෂය ධාරාව
යන විෂය
ධාරාවන්ය.
මෙහිදී ප්‍රධාන
විෂය ධාරාව යටතේ විෂයන් 04ක් සහ සෙසු විෂය ධාරාවන්ගෙන් විෂයන් 03ක් ලෙස විෂයන්
07ක් තෝරා ගැනීම සිදු කළ හැකිය. එහිදී ඉතිහාසය සහ සෞන්දර්යය විෂයන් සහ වෘත්තීය
විෂයක් සෑම දරුවෙක්ම හැදෑරිය යුතු පරිදි විෂයන් තෝරා ගැනීම අනිවාර්යය කර තිබේ. තරගකාරී විභාග ක්‍රමය වෙනුවට GPA ක්‍රමවේදය හරහා ඇගයීම හා තක්සේරු කිරීම සිදු
කිරීම ද මෙම ක්‍රමයේ විශේෂත්වයකි. අනාගතයේ
තමන් යොමුවීමට අපේක්ෂිත වෘත්තීය අනුව ක්ෂේත්‍රගත අධ්‍යයනයක් සිදු කර අත්දැකීමෙන්
අනාගත වෘත්තීය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ද දරුවන්ට අවස්ථාවක් හිමි වීම තවත්
වැදගත් අවස්ථාවකි.
පාසල් අධ්‍යාපනය අවසන් කරන සියලු සිසුන්ට NVQ -4 ජාතික වෘත්තීය
සුදුසුකම් සහතිකය හිමි වන අතර පාසල් අධ්‍යාපනයෙන් පසු පහසුවෙන් රැකියාවකට යොමු
වීමට මේ මගින් අවස්ථාව උදා වේ. එමෙන්ම සියලු දරුවන්ට උපාධිය හැදෑරීමට ද හැකියාව
ලැබේ. අවශ්‍ය නම් රැකියාවක නිරත වන අතර ම උපාධිය හැදෑරීමට හැකි වීමද නව අධ්‍යාපන
ප්‍රතිසංස්කරණයේ විශේෂත්වයකි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මගින් දරුවන්ට නිසි ප්‍රතිලාභ
ලබා දීම මේ රටේ අධ්‍යාපනයට සම්බන්ධ පිරිසගේ පමණක් නොව අප සැමගේ යුතුකමක් සහ
වගකීමකි. ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය
මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු අංශ මනා සබඳතාවකින් කටයුතු කළයුතු අතර පළාත්
මට්ටමින්, කලාප මට්ට්මින් සහ කොට්ඨාස මට්ටමින් ද අවශ්‍ය සහය සහ කැපවීම මනාව සිදු
විය යුතුය. නව ප්‍රතිසංස්කරණය යතාර්ථයක් වන්නට නම් දරුවන්ට සමීපව කටයුතු කරන විදුහල්පතිවරුන්
සහ ගුරුවරුන්ගේ ඉහළ දායකත්වයඉතා වැදගත් ය.
එපමණක් නොව අපේ අධ්‍යාපනය කාලෝචිත ලෙස ප්‍රතිසංස්කරණය කිරීම ජාත්ක අවශ්‍යතාවකි.
එහිදී ජාති ආගම් දේශපාලන බේද ඉවත දමමින් අනාගත තරු පරපුර ගැන සිතා කටයුතු කිරීමට
සියලු දෙනා වගබලා ගත යුතුය. 2026 නව අධ්‍යාපන
ප්‍රතිසංස්කරණය තවත් එක් ප්‍රතිසංස්කරණයක් නොවන්නට නම් රටේ සියලු දෙනාගේ සහය, ආශිර්වාදය
සහ කැපවීම අපේ රටේ දරුවන් වෙනුවෙන් ලබා
දිය යුතු බව යළිත් සිහිපත් කළ යුතුය.
සඳරුවන් යටිකිඳ
0 Comments