ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සියලුම ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මුහුදු යාමෙන් සම්පූර්ණයෙන්ම වළකින ලෙසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම නිවේදනයට අනුව, පුත්තලම සිට පොතුවිල් දක්වා කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යා හැකි අතර, මුහුදේ රළ මීටර් 2.5 සිට 3 දක්වා ඉහළ නැගීමේ අවදානමක් පවතී.

මෙම අනතුරුදායක තත්ත්වය හමුවේ දැනටමත් සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති බව සුසන්ත කහවත්ත මහතා කණගාටුවෙන් සඳහන් කළේය.

පසුගිය 18 වන දින හලාවත ප්‍රදේශයෙන් එක්දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය OFRP-A-2925CHW යාත්‍රාවේ ගමන් කළ වර්නකුලසුරිය නිහල් රංජන් පුනාන්දු සහ වර්නකුලසුරිය ජුඩි ලක්ෂ්මන් පුනාන්දු යන ධීවර කාර්මිකයින් දෙදෙනා මේ දක්වා ආපසු පැමිණ නොමැත. ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ගුවන් යානයක් යොදවා සෝදිසි මෙහෙයුමක් දියත් කළ ද, ඔවුන් පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත. මුහුදේ රළු ස්වභාවය හේතුවෙන් නාවික හමුදා යාත්‍රා යෙදවීමට නොහැකි වූ අතර, කාලගුණ තත්ත්වය යහපත් වූ වහාම ශ්‍රී ලංකා නාවික හමුදාව සෝදිසි මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානමින් සිටී. 

බේරුවල වරායෙන් පසුගිය 15 වන දින පිටත්ව ගිය "සුබ පැතුම්" (KLT 919) නම් ධීවර යාත්‍රාව, අයහපත් කාලගුණය හේතුවෙන් 19 වන දින ආපසු වරාය බලා පැමිණෙමින් තිබියදී, එස්. එම්. සිල්වා නම් ධීවර කාර්මිකයෙකු මුහුදට වැටී අතුරුදන් වී ඇත. ඔහුව සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වුවද, මෙතෙක් සාර්ථක වී නොමැත.

මෙවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා ජීවිතාරක්ෂක කබා පැළඳීම නීතියෙන් අනිවාර්ය කර ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය. මීගමුව ප්‍රදේශයේ දී ධීවර යාත්‍රාවක් පෙරළී අනතුරට පත් වූවද, එහි ගමන් කළ ධීවරයින් දෙදෙනා ජීවිතාරක්ෂක කබා නිසි ලෙස පැළඳ සිටීම නිසා පිහිනා ගොඩබිමට පැමිණ දිවි බේරාගෙන ඇත. මෙම සිදුවීම ජීවිතාරක්ෂක උපකරණ භාවිතයේ ඇති වැදගත්කම මනාව පෙන්වා දෙන බව ඔහු පැවසීය.

මෙම අනතුරු ඇඟවීම් නොසලකා හැරීමෙන් සිදුවන ඛේදවාචකයන් පිළිබඳව කනගාටුව පළ කරන අධ්‍යක්ෂ ජනරාල්වරයා, "ධීවර තහනම හේතුවෙන් ධීවරයින්ගේ දෛනික ආදායම අහිමි වන බව අපි දනිමු. නමුත්, ඔබගේ ජීවිත සහ දේපළවල ආරක්ෂාවට අප ප්‍රමුඛත්වය දිය යුතුයි" යනුවෙන් පැවසීය.

එබැවින්, දැනුම්දීමක් කරන තුරු මෙම අවදානම් සහිත ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙසත්, අනෙකුත් ප්‍රදේශවල ධීවරයින් ද කාලගුණික තත්ත්වයන් පිළිබඳව නිරන්තර අවධානයෙන් කටයුතු කරන ලෙසත් ඔහු දැඩිව ඉල්ලා සිටී.