වහා ජාතික ආරක්ෂක කවුන්සිලය කැඳවා ඉරාන – ඊශ්‍රායල යුද්ධයෙන් මෙරටට සිදුවන බලපෑම සම්බන්ධයෙන් සොයා බලන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා ඒ මහතා මෙසේ පැවසුවේ විශේෂ ප්‍රකාශයක් කරමින්. එහිදී වැඩිදුරටත් ඒ මහතා මෙසේද පැවසුවා. ඉරාන පාර්ලිමේන්තුව හෝමූස් සමුද්‍ර සන්ධිය වැසීමේ ක්‍රියාදාමයකට යොමුවන්න තීරණය කර තිබෙනවා. සමුද්‍ර සන්ධිය අවහිරවීමෙන් තෙල් මිල, ගෑස් මිල අධික ලෙස ඉහළයෑමේ තත්ත්වයක් තිබෙන බව බොහෝ දෙනාගේ මතයයි. රටක් විදිහට ප්‍රේක්ෂකයන් වගේ බලාගෙන ඉන්නෙ නැතිව, ඇති වී තිබෙන බරපතළ තත්ත්වයට විසඳුම් ලබාදෙන වැඩසටහනකට රජය යොමු වන්න ඕනෑ. මැද පෙරදිග සේවය කරන ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව, රැකවරණය වගේම 20,000ට ආසන්න ඊශ්‍රායලයේ සේවය කරන අයගේ ජීවිත ආරක්ෂාවත්, සමස්ත මැදපෙරදිග ප්‍රදේශයේ රැකියාවල ආරක්ෂභාවය ගැනත් සොයා බලන්න ඕනෑ. මේ වගේ තත්ත්වයක් තුළ අපේ රටේ ආර්ථික වර්ධනයට බලපෑ හැකි අගතිගාමී බලපෑම මඟහරවා ගැනීමට වර්තමාන රජය විසින් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. හදිසි ආර්ථික සැලැස්මක අවශ්‍යතාව අපි දකිනවා. කළ යුතු වැදගත්ම දේ තමයි ජාතික ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමක් කැඳවා, උද්ගතව ඇති ගෝලීය තත්ත්වයෙන් රටට මුහුණ පාන්න සිදුවෙන කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමයි. ඒ හරහා ජනතාවට දිය යුතු විසඳුම් ලබාදීමට රජය වහා පියවර ගන්න ඕනෑ.