යූ ටියුබ් සහ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය වේදිකා හරහා පවත්වාගෙන යන ව්‍යාජ විදේශ රැකියා වංචාවක් පිළිබඳ තොරතුරු ලැබී ඇති බව ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය (SLBFE) පවසනවා.

වාර්තාවලට අනුව, මෙම වංචාව පිටුපස ඩුබායි හි සේවය කළ පුද්ගලයෙකු සිටින අතර  ඔහු ශ්‍රී ලාංකිකයින්ට ඩුබායි හි රැකියා ලබා දෙන බව පවසා මුදක් වංචා සිදු කර තිබෙනවා.  ඩුබායි හි ශ්‍රී ලාංකික සේවකයින්ගෙන් වීඩියෝ ප්‍රකාශ එකතු කර පසුව එම වීඩියෝ වංක ලෙස සංස්කරණය කර  වංචාකරු හරහා රැකියා ලැබුණු බව පෙන්වමින් වැඩි පිරිසක් ආකර්ෂණය කර ගැනීම සඳහා මෙම ව්‍යාජ වීඩියෝ සමාජ මාධ්‍යවල පළ කර තිබෙනව බවද ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය (SLBFE) පවසනවා.

බලපත්‍රලාභී විදේශීය රැකියා නියෝජිතයින්ට පමණක් විදේශ රැකියා සඳහා මුදල් එකතු කිරීමට අවසර ඇති බවත්, විදේශ  රැකියා දැන්වීම් සඳහා කාර්යාංශයෙන් විශේෂ අවසරයක් අවශ්‍ය බවත්, නිසි අනුමැතියකින් තොරව මුදල් ලබා ගන්නේ නම් හෝ විදේශ රැකියා ප්‍රචාරය කරන්නේ නම්, හෝ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුවත් කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ. 

 සමාජ මාධ්‍යවල පළ වන මෙවැනි නොමඟ යවන සුළු දැන්වීම් විශ්වාස නොකරන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී. එවැනි වංචා පිළිබඳ ඕනෑම තොරතුරක් 1989 අංකයට හෝ 0112864123 අංකයට විශේෂ විමර්ශන අංශයට දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.